Posts

Showing posts from March, 2020

කටුවල කෑම

එක ගමක ගමරාල කෙනෙක් හිටියා. මේ ගමරාල කටුවල කන්න හරිම ආසයි. උදේ කැලේට ගිහින් දවල් වෙන කොට කටුවල කූඩයක් ම හාරාගෙන එනවා. ගමහාමිනෙත් කටුවල තැම්බෙන්න තියලා, පොල් ගාලා හොඳ ලුණු මිරිසක් හදනවා. කටුවල තම්බුනහම වට්ටියකට හලනවා. හැබැයි ඔක්කොම අල ටික වැටෙන්නෙ නෑ. අල ටිකක් රොස් වෙලා හට්ටියෙම ඉතුරු වෙනවා. " කූඩයකින් ම තිබුණෙ මෙච්චරද?" කියලා ගමරාල අහන කොට "මුල් වලටයි, පොතුවලටයි ගිහාම මෙච්චර තමයි" කියලා ගම හාමිනේ බුම්මා ගන්නවා. ගම හමිනෙත් කටුවල කන්න ගොඩක් ආසයි. ඒ හින්ද, හිතලම අල ටිකක් රොස් වෙන්න තියනවා. ගමරාලත් කොහොම හරි හොරේ දැනගත්තා. එක දවසක් ගම හාමිනේට හොරෙන්, හට්ටිය පතුලේ පොල්තෙල් ගාලා තිබ්බා. ගම හාමිනේ අල ටික සුද්ද කරලා, තැම්බුවා. තම්බපු අල ටික වට්ටියට හලන කොට අල ඔක්කොම වට්ටියට හැලුණා. ගමරාලයි, ගමහාමිනෙයි කටුවල කන්න පටන්ගත්තා. "අනේ ඔයාගේ තාත්තා අන්තරා වුණේ කොහොමද?" කියලා ගම හාමිනේ අල කන ගමන්ම කතාව පටන්ගත්තා. "අපේ පවුලේ ගොඩක් හිටියා. තාත්තා ජීවත් වෙන්ඩ බැරිම තැන හේනක් කොටන්ඩ වන්නියට ගියා. එහේදී කැලෑ උණ හැදුණා. ගෙදරට ආවේ උණ විකාරෙන් වෙවුල ගෙන. අන්තිමට බේර

ගමරාළ පිට්ටු උයපු හැටි

ඔන්න එක ගමරාළ කෙනෙක් හේනක් කෙටුවා. හේන වටේ දඬු වැටක් බැඳලා, පැලකුත් හැදුවා. මුං, තල, කුරහන්, වට්ටක්කා, කැකිරි, පුහුල්, බටු, බණ්ඩක්කා, ඉරිඟු වගේ බෝග ජාති ගොඩක් වගා කළා. ගමරාල හුඟක් මහන්සි වෙලා වැඩ කෙරුවා. හේන සරු සාරව තිබුණා. ඔන්න ඉතින් අස්වැන්න නෙළන කාලේ ළං වුණා. දැන් තමයි වැඩියෙන් හේන රැක බලා ගන්න ඕන. මොකද කැලේ ඉන්න මුවෝ, වල් ඌරො වගේ සත්තු හේනට ඇවිත් හැමදේම කාලා විනාශ කරල දාන හින්දා. කැලේ සත්තු හේනට එන්නේ රෑට. ඒ හින්ද හේනෙම නවතින්න ඕන කියලා ගමරාල තීරණය කළා. උදේ වරුවම හේනේ වැඩ කරපු ගමරාල ගෙදර ගියා. "මේක කරන්න බෑ. වල් ඌරො රංචු පිටින් හේනට පනිනවා. මම අද ඉදලා පැලේ නවතිනවා. හාමිනේ මට ඔය උයා පිහා ගන්න ඕන අඩුම කුඩුම ටික ලෑස්තිකරලා දුන්නනං." ඔන්න එදා හවස ගමරාල ඕන කරන බඩු මුට්ටු ටිකත් අරගෙන, රෑට කන්න බත් මුලකුත් බැදගෙන හේනට යන්න පිටත් වුණා. කන්න දෙයක් හොයාගෙන ගම කිට්ටුවට ආපු නරිරාලට ගමරාලව මුණගැහුණා. "මේ බඩු මුට්ටුත් උස්සගෙන කොහෙද යන්නේ?" නරිරාල ඇහුවා. ''මම යන්නේ පැලේ නවතින්න, නැවතිලා රෑට පැල් රකින්න. නරිරාලත් කැමතිනං යං. අද රෑට කන්න හොඳ බත් මුලකුත් තියන

ගමරාලයි නරි නයිදෙයි / Gamaralai Nari naidai

කැලෑවේ හිටපු නරි නයිදෙ කෑම හොයාගෙන ගම කිට්ටුවට ආවා. ගමරාලගෙ කුකුල් කූඩුව පිරෙන්න කුකුලෝ. නරි නයිදෙ හරිම ලේසියෙන් කුකුලෙක් අල්ලගෙන කැලේට ගියා. දැන් නරි නයිදෙ හැමදාම රෑට කුකුලෙක් අල්ලගන්න ගමරාලගෙ ගෙදරට එනවා. ගමරාලත් නිදි මරාගෙන නරි නයිදෙ අල්ලගන්න හැදුවත් හරිගියේ නෑ. නරි නයිදෙ කොහොම හරි බේරිලා යනවා. ගමරාලට හොදටම තරහයි. කොහොමද මේ නරියව අල්ලගන්නෙ කියලා කල්පනා කරනවා. ඔන්න එදා රෑ ගමරාල, ගම හාමිනේට කියලා ලබු කිරිබත් ටිකක් උයවා ගත්තා. ඊට පස්සෙ ලබු කිරිබත් ටික මඩක්කුවකට දාගෙන, හොද පොල්ලකුත් අරගෙන කුකුල් කූඩුව ලගට ගියා. කැලෑවෙ ඉදන් ගමරාලගෙ ගෙදරට එන්න තියෙන පාරෙ ලබු කිරිබත් ටික තිබ්බා. ඊට පස්සේ, ලොකු පඳුරක් ගලවගත්තා. පදුර එක අතකින් අල්ලගෙන පඳුරට මුවාවෙලා, අනිත් අතින් පොල්ලත් අරගෙන ගමරාල බලාගෙන ඉන්නවා. ඔන්න ටික වෙලාවකින් කළුවරේම නරි නයිදේ වට පිට බල බල ඒ පැත්තට එනවා. ඈතින් එනකොටම නරි නයිදේ දැක්කා ලබු කිරිබත් මඩක්කුවක් තියෙනවා. අද නම් කුකුල්ලු ඕනත් නැහැ. ලබු කිරිබත් කන්න පුළුවන් කියලා නරියට හිතුනා. ඒත් නරි නයිදේ හරිම කපටියිනේ. මොකද මෙතන ලබු කිරිබත් තියලා තියෙන්නෙ කියලා කල්පනා කලා. කෝකටත් ටිකක් ක

රයිගමයයි ගම්පලයයි / Raigamayai Gampalayai

ඔන්න එකෝමත් එක කාලෙක ජීවත් වුණා එක වගේ ම කපටි මිනිස්සු දෙන්නෙක්. එක්කෙනෙක් රයිගමයා, අනෙකා ගම්පලයා. දවසක් රයිගමයා ගමනක් යනකොට ගම්පලයව මුණ ගැහුණා. ඉතින් දෙන්නා ආගිය තොරතුරු එහෙම කතා කර කර හිටියා. එතකොට ගම්පලයා කියනවා, ''යාලුවේ අපි දෙන්නා එකතු වෙලා වෙළදාමක් වත් කරමුද?" ''ඒකනම් හොදයි. වත්තෙ පිටියේ තියෙන දෙයක් එකතුකරගෙන නගරෙට ගිහිල්ල විකුණමු." රයිගමය කිව්වා. ඔන්න දැන් දෙන්නම වෙළදාමේ යන්න තීරණය කරගත්තා. ''එහෙනම් හෙට හවස් වෙනකොට මෙතනදිම හම්බවෙමු. රෑ අම්බලමක ඉදලා පාන්දරම නගරෙට යමු.'' කියලා දෙන්නා ගෙවල් වලට යන්න පිටත් වුණා. ගෙදර ගියපු ගම්පලයා වත්ත පහලට ගිහින් වත්ත පහල තිබුණ ගම්මිරිස් වැල් වල කොළ කඩන්න පටන් ගත්තා. ලොකු ගෝනියක් පිරෙන්න කොළ කඩාගෙන ගෝනියෙ කට හොදට බැදලා ගෙදරින් ගෙනත් තිබ්බා. මේ අතරේ රයිගමයත් ගමේ ගොඩේ ඇවිදලා කිතුල් ඇට ඇහින්ද. ගෝනියක් පිරෙන්න කිතුල් ඇට ඇහිදගෙන ගෙදර ගෙනාවා. දැන් දෙන්නම නගරයට යන්න ලෑස්තියි. ඔන්න හවස් වෙනකොට රයිගමයයි ගම්පලයයි ගෙවල් වලින් පිටත් වුණා නගරෙට යන්න. දෙන්න කතා වුණ විදිහටම කලින් දවසෙ මුණ ගැහුණ තැනදි හම්බවුණා

රජ්ජුරුවෝ කුඩු කෑවා

ඔන්න එකෝමත් එක රටක රජ කෙනෙක් හිටියා. මේ රජතුමා දවසක් තමන්ගෙ ඇමතිවරුන්ගෙන් මෙහෙම අහනවා, ''මගේ රට වැසියෝ කොහොමද ජීවත් වෙන්නේ? එයාලා මං ගැන මොනවා ද කියන්නේ? '' කියලා. ඇමතිවරු කියනවා, ''රජතුමනි, රට වැසියන් සතුටින් කාලය ගත කරනවා. ඔවුන් ඔබතුමාගේ හොදමයි කියන්නේ'' කියලා. ඒත් රජතුමා හිතනවා මම ම ඒ ගැන දැනගන්න ඕන. එහෙම හිතලා එතුමා තමන්ගෙ හිතවත්ම සේවකයාට කතා කරනවා. ''සේවකය, අද රෑට මමත් එක්ක රටේ ඇවිදින්න යන්න සූදානම් වෙනවා. හැබැයි මේ ගැන කාටවත් දැනගන්න තියන්න එපා.'' කියලා රජතුමා අණ කරනවා. එදා රෑ රජතුමා සාමාන්‍ය වැසියෙක් විදිහට ලෑස්ති වෙලා සේවකයත් එක්ක රජ මාළිගයෙන් පිටත්වෙනවා. රජ මාළිගේ කවුරුවත් ම මේ ගැන දන්නේ නැහැ. ඉතින් රජතුමා නගරයේ වීදියෙන් වීදියට ගමන් කරනවා. මෙහෙම යනකොට රජතුමාට ඇහෙනවා ඩොග්! ඩොග්! කියලා සද්දයක්. සද්දෙ එන්නේ පාර අයිනෙ තියෙන ගෙදරකින්. රජතුමා සේවකයත් එක්ක මේ ගෙදරට යනවා. ගෙදර ඉන්න ආච්චිඅම්මා කෙනෙක් වී කොටනවා. වට්ටියක වී කොටලා ගන්න හාල් දාලා තියනවා. තවත් ගෝනියක වී පුරවලා තියනවා. පැත්තක දහයියා කුඩු ගොඩගහලා තියනවා. දහයියා කියන්නේ

හා හාමිගේ කතාව

ඔන්න එක කැලයක ලස්සන හාවෙක් ජිවත් වුණා. මේ හාවාට තිබුණා ලස්සන දිග රැවුලක්. දවසක් මේ හාවාට හිතුණා උගේ රැවුල කපන්න. ඉතින් හාවා බාබර් සාප්පුවට ගියා රැවුල කපාගන්න. ''කරුණාකරලා මගේ මේ රැවුල කපනවද?'' හාවා බාබර් උන්නැහේට කිව්වා. බාබර් උන්නැහේත් හාවාගේ රැවුල කැපුවා. හාවා හරි සතුටින් ගෙදර ගියා. ටික වෙලාවක් යනකොට හාවාට හිතුණා ''අනේ මගේ රැවුල තිබුණන් කොච්චර හොදද'' කියලා. හාවා ආපහු බාබර් සාප්පුවට ගිහින් එයාගෙ රැවුල ඉල්ලුවා. ''මම කොහොමද ඔයාගේ රැවුල දෙන්නෙ. මෙච්චර වෙලා කපපු රැවුල්, කොණ්ඩ ඔක්කොම අතුගාලා දැම්මනේ. දැන් ඔයාගේ රැවුල ආපහු හොයන්න බෑ.'' බාබර් උන්නැහේ කිව්වා. හාවාට හරිම දුකයි. ''මගේ රැවුල ආපහු මට දෙන්න කියලා'' හාවා කරදර කරන්න පටන් ගත්තා. බේරෙන්නම බැරි තැන බාබර් උන්නැහේ කිව්වා, ''මට ඔයාගේ රැවුල දෙන්න නම් බැහැ. කැමතිනම් මගේ මේ දැලි පිහිය දෙන්නම් කියලා''. හාවා කමක්නැහැ කියලා පිහියත් අරගෙන ගෙදර යන්න පිටත් වුණා. මෙහෙම යනකොට හාවාට හමුවුණා අඹ ගොඩක් අරගෙන එන මනුස්සයෙක්. එයා ළග ඉදුණු අඹ ගොඩක් තිබුණා. හාවා

අම්මා

එක කැළයක් ළඟ ගෙදරක අම්මා කෙනෙකුයි පුතෙකුයි හිටියා. මේ පුතා හරි දඟයි, හිතුවක්කාරයි. අම්මා කියන දෙයක් අහන්නේ නෑ. මේ හින්ද හැම තිස්සේ ම ගෙදර රණ්ඩු ඇති වෙනවා. දවසක් අවේලාවෙ පුතා ගමනක් යන්න ලෑස්ති වුණා. යන්න තිබුණෙත් කැලයක් මැද්දෙන්. අම්මා පුළුවන් තරන් ''යන්න එපා'' කිව්වා. ඒත් පුතා ඇහුවෙ නැහැ. අම්මට හොඳටම තරහ ගිහින් ''කියන දේ නාහන තෝ මගදි කොටියා කාපිය'' කියලා කිව්වා. එහෙම කිව්වත් පුතා ඇහුවෙ නෑ. යන්න පිටත් වුණා. කැලෑ පාර ළං වෙනකොට හිතට ටිකක් බය හිතුණා. කැලේ මැද්දේදි හදිසියේ සද්දයක් ඇහුණා. ඒ එක්කම තඩි කොටියෙක් පාරට පැන්නා. දැන් කොටියා පුතාගේ ඇඟට පනින්න කුරුමානම් අල්ලගෙනයි ඉන්නෙ. පුතාට අම්මා කියපු කතාව මතක් වුණා. ඊට පස්සේ පුතා අම්මා මතක් කරලා කිව්වා, ''අනේ කොටියෝ උඹ අම්මා කියාපු එක නෙවෙයි හිතාපු එක කරපං'' කියලා. ඒ එක්කම කොටියා ආපස්සට හැරිලා හෙමිහිට කැලේට රිංගුවා. පුතා ආපසු ගෙදර ගිහින් අම්මාට වැදලා පොරොන්දු වුණා ''මීට පස්සේ කවදාවත් අම්මා කියන දේකට පිටින් යන්නේ නෑ'' කියලා.
ජන කතා පරම්පරාවෙන් පරම්පරාවට කට වහරින් පැමිණි නිර්මාණාත්මක කතා විශේෂයකි. සාමාන්‍ය ජනතාවගේ හපන්කම්, මෝඩකම්, කපටිකම්, පුරසාරම් ආදි විවිධ ගතිලක්ෂණ ගැන කියවෙන ජන කතාවලින් පොදු සමාජ ජීවිතයේ ස්වරූපය විසිතුරු ලෙස විදහා දක්වයි. අප කුඩා කල ඇසූ කතාන්දර වර්තමානයේ දරුවන්ට අසන්නට නොමැතිය. එකල දෙමව්පියන් හෝ ආච්චි සීයා හෝ වෙනත් වැඩිහිටියන් විසින් කුඩා දරුවන්ට කතාන්දර කියා දෙන ලදි. නමුත් අද දරුවන්  කරන්නේ රූපවාහිනය හෝ පරිගනකය නැරඹීම පමණි. ඔවුන්ට කතාන්දර කියා දීමට වැඩිහිටියන් ගෙදර නොමැත. නැතිනම් ඔවුන්ට කාලයක් නැත. මගේ දියණියට දැන් වයස අවුරුදු 15 කි. නමුත් ඇය කුඩා කල ඇසූ කතාන්දර ඇසීමට තවමත් ඉතාමත් කැමැත්තක් දක්වයි. මා ඇයට කියා දුන් කතාන්දර ඇය මා ඉදිරියේ නොකීවත්, ඇයගේ කුඩා සොයුර සොයුරියන්ට කියාදෙන බව මම දනිමි. ඔවුන් පවසන්නේ ''අක්කා" මේ කතාන්දරය කියා දුන්නා කියා පවසයි. කතාන්දර ඇසීමට කුඩා දරුවන්ට ඇති ආශාව, උනන්දුව මම දැක ඇත්තෙමි. ඔවුන් ඉතා ආශාවෙන් ඒවා අසන විට අපටත් සතුටක් දැනේ. නමුත් අද කතාන්දර ඇසීමට දරුවන්ටත් කාලයක් නැත. මා අසා ඇති, මා කියවා ඇති ජන කතා එක් කර මෙහි ඇතුලත් කිරීම මගේ අරමුණයි.