රජ්ජුරුවෝ කුඩු කෑවා
ඔන්න එකෝමත් එක රටක රජ කෙනෙක් හිටියා. මේ රජතුමා දවසක් තමන්ගෙ ඇමතිවරුන්ගෙන් මෙහෙම අහනවා,
''මගේ රට වැසියෝ කොහොමද ජීවත් වෙන්නේ? එයාලා මං ගැන මොනවා ද කියන්නේ? '' කියලා.
ඇමතිවරු කියනවා, ''රජතුමනි, රට වැසියන් සතුටින් කාලය ගත කරනවා. ඔවුන් ඔබතුමාගේ හොදමයි කියන්නේ'' කියලා. ඒත් රජතුමා හිතනවා මම ම ඒ ගැන දැනගන්න ඕන. එහෙම හිතලා එතුමා තමන්ගෙ හිතවත්ම සේවකයාට කතා කරනවා.
''සේවකය, අද රෑට මමත් එක්ක රටේ ඇවිදින්න යන්න සූදානම් වෙනවා. හැබැයි මේ ගැන කාටවත් දැනගන්න තියන්න එපා.'' කියලා රජතුමා අණ කරනවා.
එදා රෑ රජතුමා සාමාන්‍ය වැසියෙක් විදිහට ලෑස්ති වෙලා සේවකයත් එක්ක රජ මාළිගයෙන් පිටත්වෙනවා. රජ මාළිගේ කවුරුවත් ම මේ ගැන දන්නේ නැහැ. ඉතින් රජතුමා නගරයේ වීදියෙන් වීදියට ගමන් කරනවා. මෙහෙම යනකොට රජතුමාට ඇහෙනවා ඩොග්! ඩොග්! කියලා සද්දයක්. සද්දෙ එන්නේ පාර අයිනෙ තියෙන ගෙදරකින්. රජතුමා සේවකයත් එක්ක මේ ගෙදරට යනවා. ගෙදර ඉන්න ආච්චිඅම්මා කෙනෙක් වී කොටනවා. වට්ටියක වී කොටලා ගන්න හාල් දාලා තියනවා. තවත් ගෝනියක වී පුරවලා තියනවා. පැත්තක දහයියා කුඩු ගොඩගහලා තියනවා. දහයියා කියන්නේ වී කොටලා කුල්ලෙන් පොලලා හාල් වෙන්කරගත්තහම ඉතිරිවන රොඩු වලට. වී පොතු වලට. රජතුමා වී කොටන දිහා බලාගෙන හිටියා. එතුමා මීට කලින් කවදාවත් වී කොටනවා දැකලා තිබුණේ නැහැ.
රජතුමා කවදාවත් දහයියා කුඩු දැකලා තිබුණෙත් නැහැ. ඉතින් දහයියා කුඩු දැකපු රජතුමාට ඒවා කන්න ලොකු ආසාවක් ඇති වුණා. රජතුමා සේවකයාට කිව්වා දහයියා කුඩු ටිකක් මල්ලකට දාගන්න කියලා. සේවකයාත් තමන්ගෙ කරේ තිබුණ මල්ලට දහයියා ටිකක් දාගත්තා. ඊට පස්සේ ආයෙමත් ගමන පටන් ගත්තා.
මේ විදිහට ටික දුරක් ගිය රජතුමා අර දහයියා මල්ලට අත දාලා කුඩු මිටක් අරගෙන කටේ දා ගෙන කන්න පටන් ගත්තා. ''රජතුමනි, මේ දහයියා මිනිස්සු කන්නේ නැහැ.'' සේවකයා කලබලයෙන් කිව්වා. දහයියා කුඩු කාපු රජතුමා,
''මේක රහසක්. මේ ගැන කාට කියලා තිබ්බොත් තොපෙ හිස ගසා දමනවා''. රජතුමා සේවකයා තර්ජනය කලා. ඊට පස්සේ ඔන්න රජතුමා ආපහු මාළිගාවට ගියා. සේවකයාත් ගෙදර ගියා.
ගෙදර ගිය සේවකයාට නින්ද යන්නේ නැහැ. මතක් වෙන්නේම රජතුමා දහයියා කුඩු කාපු එක. මේ රහස කාට හරි කියන්නම ඕන කියලා එයාට හිතෙනවා. ඒත් කියන්න බයයි. උදේම නැගිට්ට සේවකයා ගෙදරින් පිටත් වෙලා වෙනත් ගමකට යනවා රජතුමා කුඩු කාපු එක කාට හරි කියන්න ඕන කියලා. ඒත් කොහොම හරි ඒක රජතුමාට ආරංචි වෙයි. සේවකයා වෙනත් ගමකට යනවා. මේ විදිහට මෙයා දවස පුරාම ගමින් ගමට නගරයෙන් නගරයට ඇවිදිනවා. මේ රහස කාට හරි කියනකම් සේවකයාට ඉවසිල්ලක් නැහැ. හිතට කිසිම නිදහසක් නැහැ. අන්තිමේදි මේ සේවකයා කැලෑවට යනවා. කැලේ මැදටම ගිය සේවකයා දකිනවා ගහක බෙනයක්. මේ බෙනයට ඔළුව දාපු සේවකයා, ''රජ්ජුරුවෝ කුඩු කෑවා, කුඩු කෑවා.'' කියලා හයියෙන් කිව්වා. ඊට පස්සේ හරිම නිදහසෙන් ආපහු ගියා.
මේ විදිහට කාලයක් ගත වෙලා ගියා. දවසක් රජමාළිගාවේ අණබෙරකරයා දැක්කා එයාගේ බෙරේ කැඩිලා තියනවා. හදන්න උත්සාහ කලත් හරියන්නේ නැහැ. ඉතින් අණබෙරකාරයා අලුති බෙරයක් හදන්න හිතාගත්තා. එයා බෙර කදට ගන්න ගහක් කපාගන්න කැලේ ට ගියා. බෙරයට ගැලපෙන ගහක් කපාගෙන ගෙදර ගෙනල්ලා ඒකෙන් අලුත් බෙරයක් හැදුවා. මේ විදිහට අලුතින් යමක් හැදුවම ඉස්සෙල්ලාම රජතුමාට තමයි පෙන්නන්න ඕන. ඉතින් අණබෙරකාරයා බෙරෙත් අරගෙන මාළිගාවට ගිහින් රජතුමාට මේ ගැන කිව්වා.
රජතුමත් සතුටු වෙලා, ''එහෙනම් හැමෝටම අහන්න බෙරේ ගහන්න'' කියලා අණ කලා. මේ වෙලාවේ ඇමති මණ්ඩලයයි, රජ පවුලේ උදවියයි, සේවක සේවකාවොයි, රජතුමා බැහැදකින්න මාළිගාවට ආව රට වැසියොයි ඔක්කොම රැස් වෙලා හිටියෙ. අණබෙරකරායා බොහෝම සතුටින් බෙරය ගහන්න පටන් ගත්තා.
හැබැයි මේ බෙරේ ගහනකොට වෙන බෙර වලින් එන ඩුං ඩුං හඬ නම් ආවේ නැහැ. මේ බෙරේ ගහනකොට ආවේ,
''රජ්ජුරුවෝ කුඩු කෑවා ! කුඩු කෑවා! '' කියලා.
මේක අහපු රජතුමාට හොදටම කේන්ති ගිහින් ඒ වෙලාවෙම බෙරේ පලල ගිනි තියන්න අණ කලා.
අණබෙරකාරයා බෙරේ හදන්න අරන් තියෙන්නේ එදා සේවකයා රහස කියපු ගහයි.

Comments
Post a Comment