අම්මා

එක කැළයක් ළඟ ගෙදරක අම්මා කෙනෙකුයි පුතෙකුයි හිටියා. මේ පුතා හරි දඟයි, හිතුවක්කාරයි. අම්මා කියන දෙයක් අහන්නේ නෑ. මේ හින්ද හැම තිස්සේ ම ගෙදර රණ්ඩු ඇති වෙනවා.



දවසක් අවේලාවෙ පුතා ගමනක් යන්න ලෑස්ති වුණා. යන්න තිබුණෙත් කැලයක් මැද්දෙන්. අම්මා පුළුවන් තරන් ''යන්න එපා'' කිව්වා. ඒත් පුතා ඇහුවෙ නැහැ. අම්මට හොඳටම තරහ ගිහින් ''කියන දේ නාහන තෝ මගදි කොටියා කාපිය'' කියලා කිව්වා.



එහෙම කිව්වත් පුතා ඇහුවෙ නෑ. යන්න පිටත් වුණා. කැලෑ පාර ළං වෙනකොට හිතට ටිකක් බය හිතුණා. කැලේ මැද්දේදි හදිසියේ සද්දයක් ඇහුණා. ඒ එක්කම තඩි කොටියෙක් පාරට පැන්නා. දැන් කොටියා පුතාගේ ඇඟට පනින්න කුරුමානම් අල්ලගෙනයි ඉන්නෙ.



පුතාට අම්මා කියපු කතාව මතක් වුණා. ඊට පස්සේ පුතා අම්මා මතක් කරලා කිව්වා,

''අනේ කොටියෝ උඹ අම්මා කියාපු එක නෙවෙයි හිතාපු එක කරපං'' කියලා.



ඒ එක්කම කොටියා ආපස්සට හැරිලා හෙමිහිට කැලේට රිංගුවා.



පුතා ආපසු ගෙදර ගිහින් අම්මාට වැදලා පොරොන්දු වුණා ''මීට පස්සේ කවදාවත් අම්මා කියන දේකට පිටින් යන්නේ නෑ'' කියලා.

Comments

Popular posts from this blog

ගමරාළ පිට්ටු උයපු හැටි

වලිගෙ තමයි ලෙඩේ

රයිගමයයි ගම්පලයයි / Raigamayai Gampalayai