රයිගමයයි ගම්පලයයි / Raigamayai Gampalayai

ඔන්න එකෝමත් එක කාලෙක ජීවත් වුණා එක වගේ ම කපටි මිනිස්සු දෙන්නෙක්. එක්කෙනෙක් රයිගමයා, අනෙකා ගම්පලයා. දවසක් රයිගමයා ගමනක් යනකොට ගම්පලයව මුණ ගැහුණා. ඉතින් දෙන්නා ආගිය තොරතුරු එහෙම කතා කර කර හිටියා. එතකොට ගම්පලයා කියනවා,

''යාලුවේ අපි දෙන්නා එකතු වෙලා වෙළදාමක් වත් කරමුද?"

''ඒකනම් හොදයි. වත්තෙ පිටියේ තියෙන දෙයක් එකතුකරගෙන නගරෙට ගිහිල්ල විකුණමු." රයිගමය කිව්වා.

ඔන්න දැන් දෙන්නම වෙළදාමේ යන්න තීරණය කරගත්තා.

''එහෙනම් හෙට හවස් වෙනකොට මෙතනදිම හම්බවෙමු. රෑ අම්බලමක ඉදලා පාන්දරම නගරෙට යමු.'' කියලා දෙන්නා ගෙවල් වලට යන්න පිටත් වුණා.

ගෙදර ගියපු ගම්පලයා වත්ත පහලට ගිහින් වත්ත පහල තිබුණ ගම්මිරිස් වැල් වල කොළ කඩන්න පටන් ගත්තා. ලොකු ගෝනියක් පිරෙන්න කොළ කඩාගෙන ගෝනියෙ කට හොදට බැදලා ගෙදරින් ගෙනත් තිබ්බා. මේ අතරේ රයිගමයත් ගමේ ගොඩේ ඇවිදලා කිතුල් ඇට ඇහින්ද. ගෝනියක් පිරෙන්න කිතුල් ඇට ඇහිදගෙන ගෙදර ගෙනාවා. දැන් දෙන්නම නගරයට යන්න ලෑස්තියි.

ඔන්න හවස් වෙනකොට රයිගමයයි ගම්පලයයි ගෙවල් වලින් පිටත් වුණා නගරෙට යන්න. දෙන්න කතා වුණ විදිහටම කලින් දවසෙ මුණ ගැහුණ තැනදි හම්බවුණා.

''ආ! යාලුවේ, මොනවා ද මේ බරටම උස්සගෙන?'' රයිගමයා ඇහුවා.

''මම මේ බුලත් ටිකක් අරගෙන ආවා විකුණාගන්න. මේවා හොද බුලත්'' ගම්පලයා කිව්වා.

''මමත් මේ පුවක් විකුණන්න කියලා ආවේ. පුවක් දැන් හරි ගණන්. හොයාගන්නත් ආමරුයිනේ. හොද ගානකට විකුණාගන්න පුළුවන්.'' රයිගමයා කිව්වා.

දෙන්නම බරට බරේ අර ගෝනි දෙකත් කර තියාගෙන නවතින්න තැනක් හොයාගෙන යනවා. අතරමගදි දෙන්නට අම්බලමක් හම්බවුණා. දෙන්නම අම්බලමට වෙලා මහන්සිය හින්දා නිදා ගත්තා.

පහුවදා පාන්දරම නැගිට්ට ගම්පලයා බැලුව රයිගමය ඇහරලද කියලා. රයිගමයා හොදට නිදි. ගම්පලයා කළුවරේම රයිගමයාගේ ගෝනියත් අරගෙන අම්බලමෙන් පිටත් වුණා. ටික වෙලාවකින් රයිගමයට ඇහරුණා. ගම්පලයා නෑ. හැබැයි ගම්පලයගේ ගෝනිය තියෙනවා. තමන්ගේ ගෝනිය නැහැ. ''ගම්පලයා රැවටුණා. බුලත් ටික තියලා මගෙ කිතුල් ඇට ගෝනිය අරගෙන ගිහින්. මගේ වාසනාව'' කියලා රයිගමයා හරිම සතුටින් අර ගම්පලයගේ බුලත් ගෝනියත් කරේ තියාගෙන නගරෙට ගියා.

දැන් හොදටම එළිය වැටිලා. නගරෙට ගිය ගම්පලයා කඩේකට ගිහින් හොද පුවක් තියෙනවා ගන්නවා ද කියලා ඇහුවා. කඩේ මුදලාලිත් හා හොදයි බලමු කියලා කිව්වා. ගම්පලයා ගෝනිය ලිහලා පුවක් ටික බිමට හැලුවා. ''හත් දෙයියනේ!'' කියලා ගම්පලයා ඔළුවේ අත ගහ ගත්තා. ගෝනිය පිරෙන්න තිබුණේ කිතුල් ඇට.

රයිගමයත් බුලත් විකුණනන්න හිතාගෙන ගෝනිය ලිහලා බැලුවම තිබුණේ ගම්මිරිස් කොළ ගොඩක්. ''මම ගම්පලයා රැවටුණා කියලා හිතුවට අන්තිමේදී මමත් රැවටුණානේ'' කියාල රයිගමයට කියවුණා.

අන්තිමේදි දෙන්නටම දෙන්න රවට්ටන්න ගිහින් ඒ දෙන්නම රැවටුණා.

Comments

Popular posts from this blog

වලිගෙ තමයි ලෙඩේ

ගමරාළ පිට්ටු උයපු හැටි