ගමරාළ පිට්ටු උයපු හැටි

ඔන්න එක ගමරාළ කෙනෙක් හේනක් කෙටුවා. හේන වටේ දඬු වැටක් බැඳලා, පැලකුත් හැදුවා. මුං, තල, කුරහන්, වට්ටක්කා, කැකිරි, පුහුල්, බටු, බණ්ඩක්කා, ඉරිඟු වගේ බෝග ජාති ගොඩක් වගා කළා. ගමරාල හුඟක් මහන්සි වෙලා වැඩ කෙරුවා. හේන සරු සාරව තිබුණා. ඔන්න ඉතින් අස්වැන්න නෙළන කාලේ ළං වුණා. දැන් තමයි වැඩියෙන් හේන රැක බලා ගන්න ඕන. මොකද කැලේ ඉන්න මුවෝ, වල් ඌරො වගේ සත්තු හේනට ඇවිත් හැමදේම කාලා විනාශ කරල දාන හින්දා. කැලේ සත්තු හේනට එන්නේ රෑට. ඒ හින්ද හේනෙම නවතින්න ඕන කියලා ගමරාල තීරණය කළා.

උදේ වරුවම හේනේ වැඩ කරපු ගමරාල ගෙදර ගියා.

"මේක කරන්න බෑ. වල් ඌරො රංචු පිටින් හේනට පනිනවා. මම අද ඉදලා පැලේ නවතිනවා. හාමිනේ මට ඔය උයා පිහා ගන්න ඕන අඩුම කුඩුම ටික ලෑස්තිකරලා දුන්නනං."

ඔන්න එදා හවස ගමරාල ඕන කරන බඩු මුට්ටු ටිකත් අරගෙන, රෑට කන්න බත් මුලකුත් බැදගෙන හේනට යන්න පිටත් වුණා.

කන්න දෙයක් හොයාගෙන ගම කිට්ටුවට ආපු නරිරාලට ගමරාලව මුණගැහුණා.

"මේ බඩු මුට්ටුත් උස්සගෙන කොහෙද යන්නේ?" නරිරාල ඇහුවා.

''මම යන්නේ පැලේ නවතින්න, නැවතිලා රෑට පැල් රකින්න. නරිරාලත් කැමතිනං යං. අද රෑට කන්න හොඳ බත් මුලකුත් තියනවා." ගමරාල කිව්වා.

කන්න බොන්න තියෙනවනං මටත් හොඳයිනේ කියලා හිතපු නරිරාල හරිම කැමැත්තෙන් ගමරාලත් එක්ක පැලට ගියා. කළුවර වැටීගෙන එනකොට ගමරාල  පැල ඉස්සරහ ලොකු ගිනිමැලයක් ගැහුවා. ගෙනාපු බත් මුල දෙන්නත් එක්ක බෙදාගෙන කාලා පැල් රකින්න පටන්ගත්තා.

ගමරාලයි, නරිරාලයි එකතු වෙලා හේනට පනින කැලේ සත්තු පන්නල දැම්මා. ඔහොම ටික දවසක් යනකොට සත්තු හේනට පනින එක අඩුවෙලා ගියා. ගමරාල මහන්සි වෙලා පැල් රැකපු නිසා සත්තු හේනට එන එක නැවතුණා. ඒ හින්දා ගමරලාට දැන් සතුටුයි.

ඔන්න එක දවසක් ගමරාලට හිතුණා පිට්ටු ටිකක් කන්න.  "නරි රාලේ, අද අපි රෑට පිට්ටු කමු.'' ගමරාල කිව්වා. ''පහුගිය ටිකේම නරි රාලත් හුඟක් මහන්සි වුනානේ. වෙනසකටත් එක්ක අද පිට්ටු කමු."

''අදහස නං හොඳයි. එත් ඉතින් පිට්ටු හදන්න ඕන කරන දේවල් අපි ළඟ නෑනේ. ඕක හරියන්නේ නෑ.'' නරියා කිව්වා.

''ඒකට මොකද. මං හදන්නන්කො. නරි රාල බලන් ඉන්නකො. අද රෑට අපි පිට්ටු කනවමයි." මෙහෙම කියපු ගමරාල පිට්ටු හදන්න පටන් ගත්තා.

පොල් ගාලා, පිටි අනලා, පිට්ටු මිශ්‍රනේ හැදුවා. දැන් මේ මිශ්‍රනේ තම්බන්න ඕන. වතුර මුට්ටියක කටට රෙදි කෑල්ලක් බැඳලා, ඒක උඩට පිටි මිශ්‍රනේ දාලා, වහලා, ලිප උඩ තියලා තම්බගන්න ඕන. දැන් තමයි ප්‍රශ්නේ. මුට්ටියට බඳින්න රෙදි කෑල්ලක් නෑ. ගමරාල ටිකක් කල්පනා කලා.

''ඕකනේ, මම කිව්වේ. ඔය වැඩේ හරියන්නේ නෑ." නරියා කිව්වා.

ගමරාලට තමන් ඇඳ ගෙන ඉන්න අමුඩ ලේන්සුව මතක් වුණා. ''වැඩේ හරි.'' කියලා ගමරාල, ඇඳ ගෙන ඉන්න අමුඩ ලේන්සුව ඉණේ තියෙද්දීම ලේන්සුවේ ඉස්සරහ කොටස මුට්ටියේ කටට තියල ගැට ගැහුවා.

ඊට පස්සේ ඒක උඩට පිටි ටික දාලා, මැටි කෝප්පයකින් වහලා, ලිප උඩින් තිබ්බා. ගමරාලත් ලිප ලඟ දණ ගහගෙන ඉන්නවා. ඇයි, ගමරාල අමුඩය ඇඳ ගෙනනේ ඉන්නේ.

"ඔය වැඩේ හරියන්නේ නෑ." කියලා නරියා හැම වෙලේම කියව කියව හිටියා. ගමරාල ඒවා ගණන් ගත්තේ නෑ. හොඳට ලිප මොලවලා, ලිප ලඟට වෙලා ඉන්නවා.

රස්නෙත් එන්න එන්නම වැඩි වෙන්වෙන්වා. ගමරාල කොහොමහරි ඉවසගෙන හිටියා. දැන්නං වතුර මුට්ටියත් හොඳටම පැහෙනවා. දැන්නං ගමරාලට හරිම අමාරුයි. මුට්ටිය දුම් දාමින් පැහෙනවා. දුමයි, රස්නෙයි හින්ද ගමරාලට ඉබේටම නැගිට්ටවුනා.

පැහෙන වතුර මුට්ටියයි, පිට්ටුයි ගමරාලගේ ඇඟේ. ගමරාලගේ ඇඟත් පිච්චිලා. ගමරාල වේදනාවෙන් කෑගැහුවා.

''අනේ අපොයි, මේ කැලේ අපිට මොන පිට්ටු ද" කියලා නරියා කැලේටම දිව්වා.

Comments

Popular posts from this blog

වලිගෙ තමයි ලෙඩේ

රයිගමයයි ගම්පලයයි / Raigamayai Gampalayai