ගමරාලයි නරි නයිදෙයි / Gamaralai Nari naidai

කැලෑවේ හිටපු නරි නයිදෙ කෑම හොයාගෙන ගම කිට්ටුවට ආවා. ගමරාලගෙ කුකුල් කූඩුව පිරෙන්න කුකුලෝ. නරි නයිදෙ හරිම ලේසියෙන් කුකුලෙක් අල්ලගෙන කැලේට ගියා. දැන් නරි නයිදෙ හැමදාම රෑට කුකුලෙක් අල්ලගන්න ගමරාලගෙ ගෙදරට එනවා. ගමරාලත් නිදි මරාගෙන නරි නයිදෙ අල්ලගන්න හැදුවත් හරිගියේ නෑ. නරි නයිදෙ කොහොම හරි බේරිලා යනවා. ගමරාලට හොදටම තරහයි. කොහොමද මේ නරියව අල්ලගන්නෙ කියලා කල්පනා කරනවා.

ඔන්න එදා රෑ ගමරාල, ගම හාමිනේට කියලා ලබු කිරිබත් ටිකක් උයවා ගත්තා. ඊට පස්සෙ ලබු කිරිබත් ටික මඩක්කුවකට දාගෙන, හොද පොල්ලකුත් අරගෙන කුකුල් කූඩුව ලගට ගියා. කැලෑවෙ ඉදන් ගමරාලගෙ ගෙදරට එන්න තියෙන පාරෙ ලබු කිරිබත් ටික තිබ්බා. ඊට පස්සේ, ලොකු පඳුරක් ගලවගත්තා. පදුර එක අතකින් අල්ලගෙන පඳුරට මුවාවෙලා, අනිත් අතින් පොල්ලත් අරගෙන ගමරාල බලාගෙන ඉන්නවා.

ඔන්න ටික වෙලාවකින් කළුවරේම නරි නයිදේ වට පිට බල බල ඒ පැත්තට එනවා. ඈතින් එනකොටම නරි නයිදේ දැක්කා ලබු කිරිබත් මඩක්කුවක් තියෙනවා. අද නම් කුකුල්ලු ඕනත් නැහැ. ලබු කිරිබත් කන්න පුළුවන් කියලා නරියට හිතුනා. ඒත් නරි නයිදේ හරිම කපටියිනේ. මොකද මෙතන ලබු කිරිබත් තියලා තියෙන්නෙ කියලා කල්පනා කලා. කෝකටත් ටිකක් කලබල නොවී බලාගෙන ඉන්න ඕන කියලා නරි නයිදේ හිතුවා. නරි නයිදේ ඈතට වෙලා බලාගෙන ඉන්නවා. ගමරාලත් දැන් නරියා ලඟට එයි දැන් ලඟට එයි කියලා බලාගෙන ඉන්නවා.

ටිකක් වෙලා ගියා. ගමරාලගේ ඉවසීම නැතුව ගියා. ගමරාල හිමින් හිමින් පඳුරත් තල්ලු කරගෙන ඉස්සරහට යන්න පටන් ගත්තා. හොද විමසිල්ලෙන් හිටපු නරි නයිදෙ දැක්කා පඳුර හෙලවෙනවා. නරි නයිදේ තවත් හොදට පඳුර දිහා බැලුවා. එතකොට දැක්කා ගමරාල පොල්ලකුත් අරගෙන ඉන්න හැටි.

ඒක දැකපු නරි නයිදේ පස්සට ගියා.

'' පඳුර ලඟට මා යනවා විනා යේ

  පඳුර මා ලඟට එනවා හිනායේ'' කියලා ගමරාලට ඇහෙන්න හයියෙන් කියපු නරි නයිදේ කැලෑවටම දිව්වා.

ගමරාලට කරගන්න දෙයක් නෑ. සීතලේ කළුවරේ නිදි මරාගෙන නරි නයිදෙ අල්ලගන්න හිටපු ගමරාල හිස් අතින්ම ගෙදර ගියා.

Comments

Popular posts from this blog

ගමරාළ පිට්ටු උයපු හැටි

වලිගෙ තමයි ලෙඩේ

රයිගමයයි ගම්පලයයි / Raigamayai Gampalayai