හා හාමිගේ කතාව

ඔන්න එක කැලයක ලස්සන හාවෙක් ජිවත් වුණා. මේ හාවාට තිබුණා ලස්සන දිග රැවුලක්. දවසක් මේ හාවාට හිතුණා උගේ රැවුල කපන්න. ඉතින් හාවා බාබර් සාප්පුවට ගියා රැවුල කපාගන්න.

''කරුණාකරලා මගේ මේ රැවුල කපනවද?'' හාවා බාබර් උන්නැහේට කිව්වා.

බාබර් උන්නැහේත් හාවාගේ රැවුල කැපුවා.

හාවා හරි සතුටින් ගෙදර ගියා. ටික වෙලාවක් යනකොට හාවාට හිතුණා ''අනේ මගේ රැවුල තිබුණන් කොච්චර හොදද'' කියලා. හාවා ආපහු බාබර් සාප්පුවට ගිහින් එයාගෙ රැවුල ඉල්ලුවා.

''මම කොහොමද ඔයාගේ රැවුල දෙන්නෙ. මෙච්චර වෙලා කපපු රැවුල්, කොණ්ඩ ඔක්කොම අතුගාලා දැම්මනේ. දැන් ඔයාගේ රැවුල ආපහු හොයන්න බෑ.'' බාබර් උන්නැහේ කිව්වා.

හාවාට හරිම දුකයි. ''මගේ රැවුල ආපහු මට දෙන්න කියලා'' හාවා කරදර කරන්න පටන් ගත්තා.

බේරෙන්නම බැරි තැන බාබර් උන්නැහේ කිව්වා,

''මට ඔයාගේ රැවුල දෙන්න නම් බැහැ. කැමතිනම් මගේ මේ දැලි පිහිය දෙන්නම් කියලා''.

හාවා කමක්නැහැ කියලා පිහියත් අරගෙන ගෙදර යන්න පිටත් වුණා. මෙහෙම යනකොට හාවාට හමුවුණා අඹ ගොඩක් අරගෙන එන මනුස්සයෙක්. එයා ළග ඉදුණු අඹ ගොඩක් තිබුණා. හාවා ඒ මනුස්සයගෙන් අඹ ඉල්ලුවා. එයා බැහැ කිව්වා.

''මං ලග පිහියක් තියෙනවා. ඔය අඹ වෙනුවට මම ඔයාට පිහිය දෙන්නම්.'' හාවා කිව්වා. මනුස්සයා කැමති වෙලා පිහිය අරගෙන හාවාට අඹ දුන්නා.

හාවා අඹත් අරගෙන යනවා. මගදි හාවාට හම්බවුණා තෙල් අරගෙන යන මනුස්සයෙක්.

''අනේ හාවො, මට ඔය අඹ දෙනවාද?'' අර මනුස්සයා ඉල්ලුවා. හාවා කැමති වුණේ නැහැ.

'' මම ඔයාට මේ තෙල් දෙන්නම්. ඒ වෙනුවට මට අඹ දෙන්න.''  හාවා ඒකට කැමති වෙලා තෙල් අරගෙන අඹ දුන්නා.

හාවා දැන් තෙල් අරගෙන ගෙදර යනවා. මෙහෙම යනකොට හාවාට කැවුම් සුවදක් ආවා. වටපිට බලනකොට දැක්කා එක ගෙදරක කැවුම් උයනවා. හාවා ඒ ගෙදරට ගියා. ගෙදර හිටිය නැන්ද කෙනෙක් කැවුම් උයනවා. හරිම සුවදයි.

''අනේ නැන්දෙ, මට කැවුම් දෙනවාද? මම මේ තෙල් ටික ඔයාට දෙන්නම්'' හාවා කිව්වා. ඒ නැන්දත් කැමති වෙලා හාවාගෙන් තෙල් අරගෙන ඌට කැවුම් මල්ලක් දුන්නා.

හාවා දැන් කැවුම් මල්ලත් අරගෙන ගෙදර යනවා. කැලේ මැදින් යනකොට හාවාට හම්බවුණා තවත් මනුස්සයෙක්. ඒ මනුස්සයා ලග තිබුණා බෙරයක්. හාවාට දැන් බෙරය ඕන වුණා.

''මම ළග කැවුම් ගොඩක් තියනවා. මම මේ කැවුම් ඔක්කොම ඔයාට දෙනවා. මට ඔය බෙරේ දෙනවද?'' හාවා ඇහුවා. ඒ මනුස්සයත් කැමති වෙලා කැවුම් අරගෙන හාවාට බෙරය දුන්නා.

හාවා බෙරයත් අරගෙන කැලේ මැදින් යනවා. හාවාට මහන්සියි. ඌ ගං ඉවුරෙ ඉදගත්තා. බෙරේ අතට ගත්ත හාවා බෙරේ ගහන්න පටන් ගත්තා.

''රැවුල දීලා පිහිය ගත්තා ඩුං ඩුං ඩුං

පිහිය දීලා අඹ ගත්තා ඩුං ඩුං ඩුං

අඹ දීලා තෙල් ගත්තා ඩුං ඩුං ඩුං

තෙල් දීලා කැවුම් ගත්තා ඩුං ඩුං ඩුං

කැවුම් දීලා බෙරේ ගත්තා ඩුං ඩුං ඩුං''




මේ කතාව මට කියලා දුන්නේ මගේ පුංචිඅම්මා (නීලා පුංචි) මීට අවුරුදු තිහකට වඩා ඉස්සර. මට තාම ඒ කතාව මතකයි. සමහර වචන ටිකක් විතර වෙනස් වෙලා ඇති. 

Comments

Popular posts from this blog

ගමරාළ පිට්ටු උයපු හැටි

වලිගෙ තමයි ලෙඩේ

රයිගමයයි ගම්පලයයි / Raigamayai Gampalayai